ශ්‍රී ලංකාවේ කලා අධ්‍යාපනය: පැහැදිලි කිරීම් කිහිපයක්


ෆර්සානා හනීෆා විසිනි

ජාතික විගණන කාර්යාලය 2020 විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද උසස් අධ්‍යාපනය පිළිබඳ වාර්තාවක් උපාධිධාරී විරැකියාව සහ කලා අධ්‍යාපනය අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමට උත්සාහ දරනු ලැබීය. අද කුප්පි කතාව ව්‍යුත්පන්න වී ඇත්තේ විශ්වවිද්‍යාල ශාස්ත්‍රඥයින් කණ්ඩායමක් වන අප විසින් වාර්තාවට දක්වන ලද්දා වූ ප්‍රතිචාරයක් ඔස්සේය. ප්‍රමාණවත් නොවන පර්යේෂණ, නිවැරදි පරිදි ස්ථාන ගත නොවන්නා වූ ප්‍රමුඛතා සහ දෝෂ සහිත විශ්ලේෂණයන් මගින් අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉතා වැඩි වශයෙන් මෙහෙයවනු ලබන තත්ත්වයක් තුළ, වාර්තාවේ අන්තර්ගත සමහර කරුණු කාරණා දෙවන වරට සළකා බැලීම සැබැවින්ම වටිනේ ය.

මෙම ලිපිය ආරම්භයේදීම ශ්‍රී ලංකාවේ කලා අධ්‍යාපනය සම්භන්ධයෙන් වැඩි දියුණු කළ හැකි බොහෝ දේ ඇති බව පිළිගත යුතුය. කෙසේ වෙතත්, රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් සහ ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව වැරදි වැටහීම් රාශියක් ඇති බව පිළිගත යුතු අතරම ඒවා විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන ආකාරය හෝ පිරිනමන උපාධි පාඨමාලා වල ගුණාත්මකභාවය හා සමාන නොවන බවද සඳහන් කළ යුතුය.

කලාව අවතක්සේරු කිරීම

සමාජය වඩා සාරවත් කිරීම සඳහා නිර්මාණාත්මක කලාවේ අවශ්‍යතාවය බහුතර පිරිසක් පිළිගන්නා අතරම, මෙම වාර්තාවෙන් ඇඟවුම් කරනු ලබන්නේ “සංවර්ධනය වෙමින් පවතින රටක්” ලෙස අපට සම්පත් වියදම් කිරීමට නොහැකි බවයි (කෙසේ නමුත් කලා ධාරාවේ විද්‍යා තාක්ෂණ ඉංජිනේරු ගණිතය (STEM) අධ්‍යාපනය සඳහා වියදම් කිරීමට හැකි විය). විචිත්‍රවත් කලා දර්ශනයක් යනු සමෘද්ධිමත් සමාජයක ලක්‍ෂණයකි. ආර්ථික සංවර්ධනය සඳහා වූ අප සිදු කරනු ලබන ගවේෂණයේ දී - මෙම නිර්මාණාත්මක කලාව, අවතක්සේරු කිරීමක් ලෙස සැලකීම සැබැවින්ම අවාසනාවකි. කලාව සඳහා රජයේ වැඩි සහයෝගයක් නොමැතිකම මෙම සංවේදීතාවයේ නිරූපණයක් විය හැකිය. අවාසනාවන්ත ලෙස මෙවැනි අවස්ථා වලින් පෙනී යන්නේ මෙම වර්තමාන අධ්‍යාපන ප්‍රතිපත්තීන්හි අදූරදර්ශී බව සහ පටු භාවයයි.

කලා පීඨයන් වෙත අවධානය යොමු කිරීමේදී එකී පීඨයන් ඔස්සේ සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ භූගෝල විද්‍යාව වැනි සමාජ විද්‍යාවන් සඳහා උපාධීන් ලබා දෙන අතර අධ්‍යාපනය, පුරාවිද්‍යාව සහ පුස්තකාල විද්‍යාව වැනි ව්‍යවහාරික හෝ “වෘත්තීය” ක්ෂේත්‍රයන් සඳහා මෙන්ම ඉතිහාසය, දර්ශනය සහ සාහිත්‍යය වැනි මානව ශාස්ත්‍ර විෂයයන් වෙනුවෙන්ද අධ්‍යන කටයුතු මෙහෙය වීම සිදු වේ. දරිද්‍රතාවය, අධ්‍යාපනය වැනි ඕනෑම සමාජ ගැටලුවක් හෝ ජල හිඟය වැනි වූ ඕනෑම “තාක්‍ෂණික” මට්ටමේ ගැටලුවක් පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම අංශ විසින් සපයනු ලබන කුසලතා සහ දෘෂ්ටිකෝණයන් අත්‍යවශ්‍ය වේ. ඉහතින් දක්වන ලද ආකාරයේ ගැටලුවල දාර්ශනික හා දෘෂ්ටිවාදාත්මක පදනම අවබෝධ කර ගැනීමට මෙන්ම යෝජිත විසඳුම්වල සමාජ, සංස්කෘතික හා මානව ප්‍රතිවිපාක හඳුනා ගැනීමට ඇති හැකියාව සපයනු ලබන්නේ කලා අධ්‍යාපනයක් මගින් වගා කරනු ලබන්නා වූ කුසලතා මගිනි. සත්‍ය වශයෙන්ම, පර්යේෂණ සඳහා නිරන්තරයෙන් විවිධ වූ දෘෂ්ටිකෝණයන් භාවිත කිරීමට මූලික හේතුව මෙයයි.

යහපත් තත්ත්වයේ කලා අධ්‍යාපනයක් මගින් සමාජයට ලබා දිය හැකි දායකත්වය හඳුනා ගැනීම වැදගත්ය. සමාජ විද්‍යාවට හා මානව ශාස්ත්‍ර අධ්‍යාපනයට ලබා දිය හැකි විවිධ වූ දෘෂ්ටිකෝණයන් කෙරෙහි අවධානය යොමු නොවීම නිසා අද අපි රටක් ලෙස පීඩා විඳිමින් සිටින්නෙමු. මේ නිසාම ඉහත ක්ෂේත්‍රයන් පිළිබඳ අවබෝධයක් නොමැති හෝ ඉතා කුඩා අවබෝධයක් සහිත පුද්ගලයින්ට, විශාල බලපෑමක් ඇති කළ හැකි මෙවැනි ක්ෂේත්‍රයන්හි ප්‍රතිපත්ති වෙනස් කිරීමට හෝ නිර්මාණය කිරීමට හැකි බවක් හැඟී යයි. මෙය අපගේ අනාගතය සඳහා එතරම් සුභදායී වූවක් නොවේ.

කිසිවෙක් අතහැර නොයන්නේද?

සමාජයේ ඉහළට යාම අරමුණු කරගෙන තිබෙන අපගේ නිදහස් ඉගෙනුම් පද්ධතිය, නොසැලකිලිමත්කම නිසා විනාශ වෙමින් පවතී. අඩු වරප්‍රසාද ලත් ප්‍රජාවන්හි සිසුන්ට අඩු සම්පත් සහිත පාසල්වලට යාමට බල කිරීම විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය සහ සේවා නියුක්තිය පිළිබඳ ඕනෑම සංවාදයකදී වැඩි අවධානයක් යොමු කළ යුතු සාධකයකි.

විගණන වාර්තාව විසින් ද්විතීයික අධ්‍යාපනයේ ඇති බොහෝ ගැටලු පෙන්වා දෙනු ලබන අතර, වරප්‍රසාද නොලත් පාසල්වල සිසුන්ට උසස් පෙළ සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා (අඩු ඉල්ලුමක් පවතින) කලා විෂය ප්‍රවාහයන් අනුගමනය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවට තර්ක කරයි. මෙම හේතූන් නිසාම කලා පීඨයන් එවැනි අවම සූදානම් සහිත සිසුන්ගේ කලාපය බව මෙම වාර්තාව පවසයි. මෙකී අධ්‍යාපන ක්‍රමය ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇතත් (සිසුන්ගේ හැකියාව මීට අදාළ නොවේ), වාර්තාව තවදුරටත් යෝජනා කරන්නේ එවැනි සිසුන් උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසු නැති බවත් ඔවුන්ව වෙනත් කලාපයකට ස්ථානගත කළ යුතු බවත්ය.

බොහෝවිට දුර්වල ද්විතීක අධ්‍යාපනයක් ලැබූවන් තෝරාගනු ලබන්නේ ශාස්ත්‍රීය විෂය ධාරාවන් නම්, එම ශාස්ත්‍රීය විෂයන් සඳහා ප්‍රතිකාරාත්මක වශයෙන් ක්‍රියාපිළිවෙත් ඉදිරිපත් කළ යුතු ය. දැනට පවතින්නා වූ කලා විෂය පථයන් මෙම කාර්යය සිදු කිරීම සඳහා නිර්මාණය කර නොමැත. ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට මේ ඔස්සේ යම් තරමක හෝ සහයක් ලබා දී ඇති නමුත් වෙනත් ආකාරයේ අත්‍යවශ්‍ය ප්‍රජානන කුසලතාවන්හි ඇති දුර්වලතා ආමන්ත්‍රණය කිරීමට එතරම් සහයෝගයක් ලබා දී නොමැත. අද විශ්වවිද්‍යාලයට ඇතුළු වන ශිෂ්‍ය ජනගහනය, බහුල වශයෙන්, දුර්වල මට්ටමේ සම්පත් පවතින අධ්‍යාපන පද්ධතියකින් සහ විභාග වෙතම නැඹුරු වූ ඉගෙනුම් ප්‍රජාවක් බිහි කරන උපකාරක සංස්කෘතියකින් මතු වෙමින් පවතී.

අධ්‍යාපන ප්‍රතිපත්තිය මඟින් උපාධි පාඨමාලා වල අවශ්‍යතා සහ සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුළු කරගනු ලබන නිපුණතා අතර නොගැලපීම විසඳිය යුතුය. මේ වෙනුවෙන් ලබා දිය හැකි මූලික විසඳුමක් වන්නේ කලා වැඩසටහන් විසුරුවා හැරීම හෝ ගුණාත්මක පදනමක් නොමැතිකම සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් ඉංග්‍රීසි පුහුණුව සහ තොරතුරු තාක්ෂණ කුසලතා එකතු කිරීම නොව, අධ්‍යාපන පද්ධතියට වැඩි සම්පත් ප්‍රමාණයක් ලබා දීම සහ උපාධි පාඨමාලාවට පෙර අමතර දැනුවත් කිරීමේ හෝ හඳුනා ගැනීමේ කාල සීමාවක් සිසුන්ට ලබා දීම යි.

අඩුපාඩු සහිත දුර දක්නා නුවණ

මේ වාර්තාව ප්‍රභලව ප්‍රකාශකොට සිටින්නේ මෙම “දුර්වල“ සිසුන් පැමිණෙන්නා වූ කලා විෂයන්ම දුර්වල බවත්, ඒවාගෙන් ඇතිවන සමාජීය බලපෑම ඉතා කුඩා බවත් ය. එක් මූලික කරුණක් නම්, රටේ විශ්වවිද්‍යාල පද්ධතිය පුරා පවතින සියලුම කලා පාඨමාලාවන් එක හා සමාන නොවේ. අභ්‍යන්තර හා බාහිර උපාධි පාඨමාලා, විවිධ විෂය සංයෝජනයන්ගෙන් පසු ලබන්නා වූ තුන් අවුරුදු සාමාන්‍ය කලා උපාධි පාඨමාලා සහ වසර තුනක කාලයක් තුළ විශේෂඥතාව ලබා දෙන අධ්‍යයන ධාරා උපාධි වැඩසටහන් මෙන්ම පර්යේෂණ අංගයක් සම්බන්ධ කරමින් ගොඩනගා ඇති සිව් අවුරුදු ගෞරව උපාධි වැඩසටහන් මේ අතර වේ. කලා වැඩසටහන් මගින් ආවරණය වන විෂය ක්ෂේත්‍ර ද විවිධාකාර වන අතර බොහෝ විශ්වවිද්‍යාලවල වැඩසටහන් වල අන්තර්ගතය ද වෙනස් වේ. මේ අනුව, කලා ධාරාව නියෝජනය කරන සිසුන්, පුළුල් හා විසම පරාසයක හැකියාවන් සහ කුසලතා විදහා දක්වයි. කලා උපාධිධාරීන්ගේ කුසලතා හා හැකියාවන් විශ්ලේෂණය කිරීමේදී කලා අධ්‍යාපනය එහි වන සංරචක කොටස් වලට වෙන් නොකර සමස්තයක් ලෙස සැලකීම, මෙම විශ්ලේෂණයන් සඳහා කිසිලෙසකින්වත් උපකාරී නොවේ. වඩා ශක්තිමත් වැඩසටහන් හඳුනාගෙන සංවර්ධනය කිරීම සහ ප්‍රතිසංස්කරණ අවශ්‍ය ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය සහාය ලබා දීම වෙනුවෙන් කලා වැඩසටහන් එකිනෙක වෙන්කොට හඳුනා ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය වේ.

ශාස්ත්‍රීය පැතිකඩ වෙත වැඩි වශයෙන් නැඹුරු වූ වැඩසටහන්, කෙසේ හෝ රැකියා අරමුණු කරගත් වැඩසටහන් වලට පටහැනි බව වාර්තාව උපකල්පනය කරයි. එවැනි සංකල්පයන් මූලික කරගත් දෘෂ්ටිකෝණයක් ප්‍රධාන වශයෙන්ම අධ්‍යයන කටයුතුවල ස්වභාවය සහ රැකියා අරමුණු කරගත් අධ්‍යාපනයේ සාරය යන සංකල්ප ද්විත්වයම වැරදි ලෙස අර්ථ දක්වයි. විචාරාත්මක චින්තනය, පාඨමාලාවේ විෂය මූලික ද්‍රව්‍ය සමඟ සැලකිය යුතු ලෙස සම්බන්ධ වීම, ස්වාධීන ඉගෙනීම, ගුණාත්මක රචනය, ඉදිරිපත් කිරීමේ කුසලතා සහ විවාද කුසලතා වැනි අංගයන් කෙරෙහි අවධානය යොමු කරන ශක්තිමත් අධ්‍යයන වැඩසටහනක් මඟින් ස්වාධීනව සිතීමට, අදහස් ප්‍රකාශ කිරීමට සහ ඔවුන්ගේ රැකියාවේ ඇතුළුව අවට ඇති ඕනෑම දෙයක අර්ථවත් ලෙස වෙනසක් ඇති කිරීමට කටයුතු කරන උපාධිධාරීන් බිහි කරනු ඇත. මේ ආකාරයේ ඵලදායී වැඩසටහනක්, සමාන්තර වශයෙන් විෂයමාලාවේ කොටසක් ලෙස ඉංග්‍රීසි කුසලතා, “මෘදු කුසලතා” සහ තොරතුරු තාක්ෂණ කුසලතා වර්ධනය කිරීමට හේතු වේ. විශ්වවිද්‍යාල පද්ධතිය හරහා දැනට ක්‍රියාත්මක වන ලෝක බැංකු ණය අරමුදල් සහිත (්්‍යෑ්ෘ) වැඩසටහන එවැනි ඉදිරිදර්ශනයක අංගයන් ඒකාබද්ධ කිරීමට කටයුතු යොදා ඇත.

වර්තමානයේ කලා පීඨ තුළ අනෙකුත් පීඨ වලට සාපේක්ෂව සිසුන් විශාල සංඛ්‍යාවක් ඉගෙනුම් කටයුතු සිදු කරනු ලබයි. ඔවුන්ගේ ශිෂ්‍ය මණ්ඩලය වඩාත් විවිධාකාර ස්වභාවයක් උසුලනු ලබන අතර විවිධ අභියෝග ඇතිවීමේ හැකියාවද වැඩි වශයෙන් පවතී. එහෙයින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සංක්‍රමණය වීම සඳහා වැඩි සහයෝගයක් අවශ්‍ය වේ. ඔවුන්ගේ ශිෂ්‍යයන්ගේ සිට කාර්ය මණ්ඩල අනුපාත විශාල වනවා සේම, ඔවුන් විවිධ භාෂා මාධ්‍යයන් ඔස්සේ ලබා දෙන උපාධි වැඩසටහන් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට නැඹුරු වේ. නමුත් ඔවුන් එක් සිසුවෙකු වෙනුවෙන් වෙන්කරනු ලබන අරමුදල්, අනෙකුත් උපාධි පාඨමාලා වලට සාපේක්ෂව ඉතා අඩුය. මෙය කලා පීඨ සඳහා සුවිශේෂී දුෂ්කරතා ගණනාවක් නිර්මාණය කරයි. කලා උපාධිධාරියෙකුට අවශ්‍ය ගුණාත්මක අධ්‍යාපනය ලබා දීම සඳහා විශ්වවිද්‍යාල තුළ මෙම ගැටළු වෙනුවෙන් ක්‍රමානුකූල පරීක්ෂණයක් අවශ්‍ය වේ. මෙහිදී රජය ශාස්ත්‍රීය පීඨයන් වෙනුවෙන් කළ හැකි දායකත්වය පිළිබඳව පිළිගත යුතුවාක් සේම වර්තමානයේ සිදුකරන පරිදි ශාස්ත්‍රීය පීඨයන් අයුක්තිසහගතව නොසළකා හැරීම නැවැත්විය යුතු ය.

විරැකියාව දෙස නැවත හැරී බැලීම

බොහෝ විශ්වවිද්‍යාල උපාධිධාරීන් තමන්ට අදාළ රැකියා කාණ්ඩයන් ලෙස හඳුනා ගනු ලබන්නේ රජයේ අංශයේ සේවයේ යෙදීමයි. උපාධිධාරීන් විරැකියාව වාර්තා කරන විට, ඔවුන් වෙනත් ආදායම් උත්පාදනය කරන ක්‍රියාකාරකම්වල හෝ පෞද්ගලික අංශයේ රැකියාවක නිරත නොවන බව මෙහිදී අදහස් නොකෙරේ. “රැකියාවක්” යනු රජයේ රැකියාවක් ලෙස නිර්වචනය කිරීම, සංවර්ධනය සහ හිමිකම් වගා කළ සංස්කෘතියක කොටසක් ලෙස වටහා ගත හැකිය. නිර්මාණශීලීත්වය, රැකියා තෘප්තිය, ඉහළ වැටුප් යනාදිය නොසලකා සේවා කොන්දේසි, රැකියා සුරක්‍ෂිතතාවය සහ රජයේ තනතුරක ප්‍රතිලාභ විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වන්නවුන්ට වඩා බොහෝ සෙයින් වැඩි බව අවබෝධ කර ගැනීමෙන් ද එවැනි ආස්ථානයක් ලබා ගැනීම සිදු වේ. මෙම කරුණු බොහොමයක් වාර්තාව විසින් හඳුනාගෙන ඇත. එහිදී උපාධි අපේක්ෂකයින් පෞද්ගලික අංශයේ රැකියා වල ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම මෙම වාර්තාව ඔස්සේ නිර්දේශ කරන අතර පෞද්ගලික අංශයේ සේවා කොන්දේසි පිළිබඳව අවධානය යොමු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

රැකියා විරහිත කලා උපාධිධාරීන්ගෙන් බහුතරය කාන්තාවන් බව වාර්තාව පෙන්වා දෙන නමුත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ කාන්තාවන් රැකියා විරහිත වීමට හෝ රැකියාවෙන් ඉවත් වීමට හේතුව පිළිබඳ ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය වටපිටාව සම්බන්ධයෙන් මෙයින් ගවේෂණය නොකරයි. 2017 කම්කරු ඉල්ලුම් සමීක්ෂණය මගින් මෙම ගැටලුව පිළිබඳව අවබෝධයක් ලබා දෙයි. මෙම සමීක්ෂණ ප්‍රතිඵල වලට අනුව, සේවා යෝජකයින් විසින් ඔවුන්ගේ “පවුල් බැඳීම්”, “ආරක්ෂක අවශ්‍යතා” සහ “මාතෘ නිවාඩු” හේතුවෙන් කාන්තාවන් බඳවා ගැනීම කෙරෙහි නිෂේධාත්මක ආකල්පයන් ප්‍රකාශ කර තිබේ.

කාන්තාවන්ගේ ගෘහාශ්‍රිත වගකීම් සහ ලිංගික හිරිහැර මෙන්ම ප්‍රචණ්ඩත්වයට බිය වීමට සේවා යෝජකයන් දක්වන අකමැත්ත මූලික වශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන සාධකයකට පමණක් අවම කළ නොහැකි තවත් සමාජ ව්‍යාධියක් පෙන්වා දෙනු ලබයි. මෑත කාලයේ සාකච්ඡා වන ගෘහාශ්‍රිතව කාන්තාවන්ගෙන් සැපයෙන ශ්‍රමය ගණන් නොගැනීමත් ගෘහාශ්‍රිත ආර්ථිකය (රැකබලා ගැනීම් වැනි) යන කරුණු මෙහිදී අදාළ වේ.. බොහෝ කාන්තාවන් නිවසේ රැකවරණය පිළිබඳ ඉල්ලීම් සපුරාලීම වෙනුවෙන් විධිමත් රැකියාවෙන් ඉවත් වීම හෝ අවිධිමත් රැකියාවල නිරත වීම සිදු කරනු ලබයි. මීට අමතරව, රැකියා ස්ථානයේ මෙන්ම රැකියාවෙන් පසු නැවත නිවස බලා යන විට මුහුණ දීමට සිදුවන ලිංගික හිරිහැර හා අවදානම් තත්ත්වයන් කාන්තාවන්ගේ ශ්‍රම බලකා සහභාගීත්වය අවම වීමට බලපානු ලබන මූලික සාධක වේ. උපාධිධාරී විරැකියාව පිළිබඳ සම්පූර්ණ චිත්‍රයක් ලබා ගැනීම සඳහා මෙම කරුණු ද සැලකිල්ලට ගත යුතු ය.

රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති සෑම විටම දැඩි විශ්ලේෂණයන් මත පදනම් නොවන අතර බොහෝ විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුද සමනය කරනවා වෙනුවට එකී ප්‍රතිපත්ති අර්බුධය වඩා උග්‍ර කරවයි. එම නිසා ප්‍රතිපත්තිමය වශයෙන් සිදුකරනු ලබන මැදිහත්වීම් සඳහා කරන බලපෑම් මනාව සිතා බලා සිදුකරන ඒවා විය යුතු අතර එකී ක්‍රියාපටිපාටීන් ඉතා සරල මට්ටමේ ඒවා නොවිය යුතු ය.

(ෆර්සානා හනීෆා කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි.)

‘කුප්පි ටෝක්’ යන්නෙන් අරුත් ගැන්වෙන්නේ සමාජ ධූරාවලීන් සරදමට ලක්කරන, ඒවා කඩාකප්පල් කොට දමන්නා වූ, එමෙන්ම ඒවා අනුකරණය කරන, දේශන ශාලාවේ ඉම් රේඛාවෙහි සිදුවන දැනුම් සම්පාදන ක්‍රියාවලියකි.