කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට (KNDU) එරෙහි සටන: ජනතාව සමඟ අපගේ ගිවිසුම නව්‍යකරණය කිරීම

සිවමෝහන් සුමති

කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන මුහුණුවර තනිවම වෙනස් කිරීම සඳහා . 1945 දී ඇරඹි නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රතිලාභ ආපසු හැරවීමට 90 දශකයේ සිටම පසුකාලීන රජයන් උත්සාහ කළහ. නිදහස් අධ්‍යාපනය ඉතිහාසයේ නිශ්චිත රේඛීය බවක් හඳුනා ගත නොහැකි අතරම ඒ තුළ පරස්පර විරෝධී බවක් ද නැත්තේම නොවේ. එය සමාජ පංති ධූරාවලිය, ජනවාර්ගිකත්වය, ස්ත්‍රී පුරුෂ භාවය සහ රාජ්‍ය හා සිවිල් සමාජයේ ප්‍රචණ්ඩත්වයේ බහු දර්ශකයන් හා සම්බන්ධ වී තිබේ. මෙම ප්‍රතිවිරෝධතා තිබියදීත් මෙන්ම මෙකී ප්‍රතිවිරෝධතා හේතුකොටගෙන නිදහස් අධ්‍යාපනය පැමිණ ඇත්තේ බොහෝ විට පරස්පර විරෝධී නමුත් බලවත් සමාජ අභිලාෂයන් සහ පොදු පුරවැසි මණ්ඩලයේ සමාජ ආශාවන්, විශේෂයෙන් සමාජයේ මායිම් වල හෝ මායිම් ආසන්නයේ සිටින අතිමහත් බහුතරයක් නියෝජනය කිරීමට සහ සංකේතවත් කිරීමට ය. නිදහස් අධ්‍යාපනය සෑම කෙනෙකුටම එක ලෙස සේවය නොකරන නමුත් වසර ගණනාවක සිට දශක ගණනාවක් පුරාවට එය සමාජය යහපත් ස්ථානයක් කිරීම සඳහා අතිමහත් බහුතරයකගේ බලාපොරොත්තුව නියෝජනය කරයි. වඩ වඩාත් බල රහිතව සිටින ජනතාවක් සඳහා, එය සමාජ සංචලනය සඳහා වූ අවස්ථා විවෘත කරන අතර එය සීමාසහිත ය; යුක්තිය, සමාජ සාධාරණත්වය සහ රාජ්‍යය සමඟ ප්‍රජාතන්ත්‍රවාදී ගිවිසුමක් ඇති කර ගැනීමේ සටනේදී වඩාත් වැදගත් ලෙස අතිමහත් බහුතරයකගේ දෘෂ්ටිවාදාත්මක හා දේශපාලන ආයුධය බවට මෙය පත් වේ.

පෞද්ගලීකරණය, සංගතීකරණය, මිලිටරීකරණය

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය, රාජ්‍ය යාන්ත්‍රණයෙහි අනිවාර්ය අංගයකි. අනුප්‍රාප්තික ආණ්ඩු ඇතුළත සිට එහි අඛණ්ඩතාව බිඳ දමමින්, එයට සමාන විය හැකි සමාන්තර උසස් අධ්‍යාපන පද්ධති නිර්මාණය කිරීමට උත්සාහ කර ඇති අතර යම් තරමකින් හෝ එයින් සාර්ථක වී තිබේ. උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම ආකාර දෙකක සැලැස්මක් අනුගමනය කරයි; ගාස්තු අය කිරීමේ මධ්‍යස්ථාන සහ අධ්‍යාපන ආයතන ඇති කිරීම සහ අරමුදල් මෙන්ම උප ප්‍රමිතිකරණය යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාල අවප්‍රමාණ කිරීම එකී දෙයාකාර සැලැස්ම වේ. දිවයින පුවත්පතේ දෙසතියකට වරක් පළවන කුප්පි ටෝක් තීරු ලිපිය මඟින් ප්‍රමිති වලට පටහැනි හා පෞද්ගලීකරණය කිරීමට බලපෑම් කරන්නා වූ ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදු කරන ලෙස බල කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාලය වෙත එල්ල කරන ලද පීඩන නිරන්තරයෙන් පුරෝකථනය කරන ලදි. 90 දශකයේ සිට (පෙර නොවේ නම්) විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වන වියදම් ක්‍රමයෙන් පිරිහී ගොස් ඇති අතර පශ්චාත් යුද සමයේදී අධ්‍යාපනය සඳහා යන වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2%ක ප්‍රමාණයේ පැවතුනි (නියන්තිනි කදිරගාමර්, “අරමුදල් සැපයීමේ මිත්‍යාව,” https://island.lk/funding-fallacies-in-education/). කුප්පි ටෝක් තීරු ලිපියේ විවිධ දායකත්වයන් තුළින් ඉස්මතු කර ඇති පරිදි එම තත්ත්වය මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාවන් වෙත වැඩි වශයෙන් බලපා ඇත. පෞද්ගලීකරණය දෙසට ගමන් කිරීමට මෑත කාලීනව ගත් පියවර, නියෝගයන් සහ මිලිටරිකරණය හරහා සිදුවීම අහම්බයක් නොවේ. කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතෙහි ඇතුළත් මිලිටරිකරණය වූ අධිකාරියේ මූලධර්ම පිළිබඳව බොහෝ කාරණා රචනා වී ඇත. මම මෙම චක්‍රය නැවත ප්‍රතිනිර්මාණය කළ යුතු නැත, නමුත් සටහන් කිරීමට අවශ්‍ය දේ නම්, කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත විසින් නිදහස් අධ්‍යාපනයේ ජයග්‍රහණ සහ මිනිසුන් සවිබල ගැන්වීමේ එහි ඇති හැකියාව ආපසු හැරවීමෙන්, එය මර්දනකාරී තාක්‍ෂණික පාලනයේ අනාගතය දෙසට සහ සංචලතාව සඳහා මාර්ගය ලෙස අධ්‍යාපනයට වැඩියෙන් කැමති පිරිස් මර්දනකාරීව බැහැර කිරීම් දෙසට යොමු කරයි.

80 සහ 90 දශකවල අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සඳහා රළු පියවර කිහිපයක් දක්නට ලැබුණ ද, නව සහශ්‍රය ආරම්භයේ දී, අපි දන්නා පරිදි, දිගු කලක් තිස්සේ රැකගත් නිදහස් අධ්‍යාපන යන්ත්‍රය විසුරුවා හැරීම සඳහා වූ ආක්‍රමණශීලී ව්‍යාපාරයක් ආරම්භ වූ බවට සාක්ෂි තිබේ. දෘෂ්ටිවාදාත්මක සමානකම් කෙසේ වෙතත්, එන්.සී.එම්.සී සහ සයිටම් පිහිටුවීම පිටුපස ඇති විවිධ පෙලඹවීම් දෙස බලමින් සයිටම්: අඛණ්ඩතාවය සහ අසමගියතුළ මම මෙම ඓතිහාසික ගමන්මග ලුහුබැඳ යමි. (http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=161915)

පෞද්ගලීකරණය කරන ලද තෘතීය අධ්‍යාපනයේ සමහර ස්වරූපයන් දීර්ඝ කාලයක් තිස්සේ පැවතුන අතර මෑතකාලීන වසරවලදී එය පුළුල් වී ඇතත් නූතනය දක්වාම අංගසම්පූර්ණ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් පිහිටුවීම යන කාරණය ගැටලුකාරී තත්වයකට ඇද වැටී ඇත. ජනප්‍රිය කැමැත්ත එයට බාධාවක් විය. නමුත් ශක්‍ය පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකම්, බුද්ධිමය හා ආයෝජන හැකියාවන් රට තුළ නොමැති බව ද සත්‍යයකි. සත්‍යවශයෙන්ම ලංකාවේ පෞද්ගලික අංශය දුර්වල ය. පශ්චාත් යුධ සමයේ, එවකට මහින්ද රාජපක්ෂ රජය, එස් බී දිසානායක උසස් අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කළ කාලසීමව තුළ පෞද්ගලික හා රාජ්‍ය විශ්ව විද්‍යාල සමාන හා එකම විෂය පථයකට ගෙන ඒම සහ ආයතනික අවශ්‍යතා සීමාව තුළ මෙම විෂය පථය ඇතුළත් කර ගනිමින් ප්‍රතීතන මණ්ඩලයක් ලෙස ක්‍රියා කරන සංවිධාන මණ්ඩලයක් හරහා පෞද්ගලික විශ්වවිද්‍යාල විධිමත් කිරීමේ පියවරයන්ට පෙරමුණ ගෙන කටයුතු කළේය. ඔවුන්ගේ මතයට අනුව, ශ්‍රී ලංකාව විදේශ ආයෝජන ආකර්ෂණය කර ගන්නා අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් වේ,  (“අධ්‍යාපනය සහ එහි අතෘප්තිය,” ද අයිලන්ඩ්, 2011 නොවැම්බර් 1.) යහපාලන රජය ද වඩා යහපත් නොවූ අතර පසුගිය පාලනයේ පෞද්ගලික රාජ්‍ය හවුල්කාරිත්ව ප්‍රතිපත්ති, සයිටම් සහ මෘදු කුසලතා වර්ධනය පිළිබඳ නොපැහැදිලි මතයක් දක්වා කලා අධ්‍යාපනය පහත් කිරීමත් සමඟ පෞද්ගලීකරණය කිරීමේ සැලසුම් අන්ධ ලෙස අනුගමනය කළේය. කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත 2018 වර්ෂයේ අප්‍රේල් මාසයේදී ගැසට් කරන ලද අතර එයට අධ්‍යයන ප්‍රජාවන් සහ සිවිල් සමාජ සාමාජිකයින් විසින් විරුද්ධත්වය පළ කරන ලදී. ජීවිතයේ සෑම අංශයක්ම වෙළඳ භාණ්ඩ බවට පත් කෙරෙන බොහෝ දූෂිත නව ලිබරල්වාදී පියවරයන් මෙන්, මේ අවස්ථාවේදී ද රජය පෞද්ගලීකරණය කළ අධ්‍යාපනයේ ආයෝජකයෙකු බවට පත් විය. කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලය වෙත රුපියල් බිලියන 36.54 ක් පොරොන්දු වන ලෙස ලංකා බැංකුවට සහ එන්.එස්.බී බැංකුව වෙත නියෝග කර ඇති බව අපට අසන්නට ලැබේ (https://www.sundaytimes.lk/210725/business-times/kotelawala-uni-gets-over-rs-36-bn-from-boc-nsb-449828.html).අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ මූලික හේතුව රාජ්‍යයේ බර ලිහිල් කිරීම නම්, රජය මෙම ආයතන වලට සහනාධාර ලබා දීම දිගටම කරන්නේ ඇයි? තර්කය මනස අවුල් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදය කැඳවීම

2011-2012 සිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය (FUTA) විසින් බලයේ සිටි රජයකට ආචාර්යවරුන් විසින් එල්ල කරනු ලැබූ ප්‍රබලතම අභියෝගය දියත් කළ අතර පශ්චාත් යුද සමයේදී රාජ්‍ය අධ්‍යාපනය සුරකිමු යන සටන් පාඨය සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් යන ව්‍යාපාරය යටතේ නොසතුටට පත් බලවේග එකට එකතු කර ගත්හ. එය ඒ වනවිට කනස්සලෙන් වැඩ කළ හා වෘත්තීයමය පැලැන්තියක අවශ්‍යතා අනුව කටයුතු කිරීම මත දැඩි ලෙස කැලඹෙමින් සිටි නව ලිබරල්වාදී බලවේගයන්ට ප්‍රතිචාරයක් සකස් කිරීම සඳහා විවිධ කණ්ඩායම් සහ පුළුල් පරාසයක ක්‍රියාකාරිකයන් එකට එකතු කළේය. ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ කැඳවීම තුළින් එහි ක්‍රියාමාර්ග සකස් විය. කෙසේ වෙතත්, යහපාලන වසර ගණනාව තුළත් ඉන් පසුවත් අධ්‍යාපනය සඳහා වූ අරගලයේ වේගය අඩාල විය. එහි සාමාජිකයින්ගේ පටු කල්පනාව, විවිධ අභිලාෂයන් සහ පක්ෂපාතිත්වය තුළින් නොසන්සුන් වූ ෆූටා සංවිධානයම ඇතුළතින් කණ්ඩණය වීම සිදු විය. වෙනත් විසම ක්‍රියාකාරී කණ්ඩායම් පෞද්ගලීකරණයට එරෙහිව සටන් කිරීම සඳහා නායකත්ව භූමිකාව බාරගත් අතර සමහර ඒවා අපේක්‍ෂිත දිශා ඔස්සේ වර්ධනය නොවීය.

අද පනත අනතුරුදායක යථාර්තයක් බවට පත් වීමේ තර්ජනය මතු කරමින් පවතී. කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත මගින් තර්ජනයට ලක්ව ඇත්තේ විශ්ව විද්‍යාල පද්ධතිය පමණක් නොවේ. ඔවුන්ගේ වෘත්තීය සමිති විසින් මෙහෙයවනු ලබන පාසල් ගුරුවරුන්ද සටනට අවතීර්ණ වී ඇත. කොවිඩ් 19හි හානිකර තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ගුරුවරුන් සහ ශිෂ්‍යයින් වසර ගණනාවක අධ්‍යාපනය සඳහා ප්‍රමාණවත් ලෙස මුදල් ලබා නොදීමේ බිහිසුනු ප්‍රතිවිපාකවලට මුහුණ දෙමින් සිටියි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මෙම විරෝධතාවයට එක්වන්නේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙක්, එසේත් නැත්නම් බලසම්පන්න ක්‍රියාකාරිකයෙකු ලෙස වන නමුත් එකම ක්‍රියාකාරිකයා ලෙස නොවේ. 2021 ජූලි 24 දින කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ශාමලා කුමාර් ප්‍රකාශ කළ පරිදි, මෙය ඒකාධිපති පනතට එරෙහි අරගලයක්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට (පී.ටී.ඒ) විරෝධී දක්වන අරගලයක් වන අතරම වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සඳහා වන අරගලයක්, අවිධිමත්  සේවක අංශයේ, විශේෂයෙන් කාන්තාවන්ගේ සේවා කොන්දේසි වල ආරක්ෂාව සහතික කිරීම සහ නවක වදයට එරෙහිව හඬ නැගීම ඇතුළුව විශ්වවිද්‍යාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අරගලයකි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය යටතේ පෙළ ගැසෙන විශ්වවිද්‍යාල ආචාර්යවරු යළිත් වරක් මෙරට අධ්‍යාපන ඉතිහාසයේ තීරණාත්මක මොහොතකට පැමිණ සිටිති. සැවොම එක්ව කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පරාජය කරමු!

සිවමෝහන් සුමති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයට අනුයුක්තව සේවය කරයි