නවක වදයේ උග්‍ර පැතිරීම: මධ්‍යයන්ගේ සිට අන්තයන් දක්වා

ශාමලා කුමාර්

තමා විසින් අත්විඳින නවක වදය හා සම්බන්ධ ලිංගික හිංසනයන් පිළිබඳ ප්‍රසිද්ධියේ විස්තර කළ සිසුවෙකුට, ඒ පිළිබඳ කතා කිරීමට අදාළව ඔහු තුළ සැඟවුණු අභිප්‍රායන් ඇති බවට චෝදනා එල්ල විය. තමන් දුටු නවක වද සිද්ධීන් පිළිබඳ අදහස් දැක්වූ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකාවක් එසේ තමන් දුටු දේ සම්බන්ධයෙන් කතා කිරීම හේතුකොට ගෙන නවක වදය සිදුකරන්නන්ගෙන් පමණක් නොව තම සහෝදර කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් ද හිරිහැරයට ලක් විය. නවක වදය නැවැත්වීමට වෙහෙස මහන්සි වී වැඩ කළ පීඨ සාමාජිකයෙකුට සිසුන් අතර භේද ඇති කළා යැයි අපකීර්තියට පත්වීමට සිදුවිය. නවක වදය පිළිබඳ සිදු කළ සමීක්ෂණයකදී සිසුවෙක් පැවසුවේ, ”අපට අන්තිමේ නවක වදය ගැන කතා කිරීමේ හැකියාව ලැබී ඇත” යනුවෙනි. මෙහි ගැටලූව වන්නේ නවක වදය හඳුනා ගැනීමට කොතරම් පෙළඹවීමක් තිබුණ ද, නවක වදයට දක්වන ප්‍රතිරෝධයට ලැබෙන ප්‍රතිචාර (එනම් නවක වදය ගැන කථා කිරීම තරම් සරල කාරණාවලට ලැබෙන ප්‍රතිචාරද ඇතුළු ව) හරහා පෙනී යන්නේ මෙම ගැටලූවේ ඇති සංකීර්ණතා සහ විසඳුම් සෙවීමේ දුෂ්කරතා ය.

නවක වදය

නවක වදය බොහෝ අවස්ථාවන්වල දී අදෘශ්‍යමාන ය. තමාට සිදුකිරීමට ගිය අතවරයකින් බේරීම සඳහා දෙවන මහලේ ජනේලයකින් පැනීමෙන් අංශභාගයට ගොදුරු වූ සිසුවෙකු පිළිබඳ හෝ ටයරයක් සිය ශරීරය මතින් ගමන් කිරීම නිසා රෝහල්ගත වූ සිසුවෙකු පිළිබඳ අපට අසන්නට ලැබෙන විට අපි කම්පනයට ලක් වන්නෙමු. නමුත් මේවා ඉතා පැහැදිලිව ම ගැටලූ සහගත ක්‍රියාවන් වන අතර එකී ක්‍රියාවන් පහසුවෙන් හෙළා දැකිය හැකි ය. කෙසේ වෙතත්, නවක වදය සැමවිට ම ප්‍රචණ්ඩකාරී නොවේ. සත්‍ය වශයෙන් ම, බොහෝ අය නවක වදය පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් ප්‍රකාශ කරනු ලබන්නේ විනෝදජනක සිදුවීම් ලෙස ය. සමහරු එය ‘හානිකර නොවන’ ලෙස විස්තර කරන අතර හුදෙක් ගායනයට හෝ අසභ්‍ය වචනවලට සවන් දීමට පමණක් සීමා වූ අත්දැකීමක් ලෙස සිහි කැඳවති. පැහැදිලිව ම අහිංසක මෝඩ ක්‍රියාවන් ලෙස පෙනෙන මෙවැනි ක්‍රියාකාරකම් ඔස්සේ අත්දැකීම් ලැබූවන් නවක වදය සැබැවින් ම තමන්ට ප්‍රියජනක මතකයන් ගෙන එනු ලබන බව වුව ද පැවසීමේ හැකියාවක් පවතී. නමුත් මීට ප්‍රතිරෝධය දක්වනු ලබන සිසුන් සහ ඔවුන් එසේ එල්ල කරනු ලබන එම ප්‍රතිරෝධය වෙනුවෙන් එකී සිසුන් වෙත ශාරීරික හා මානසික අතවර සිදු කිරීම සහ/ හෝ ඔවුන්ව නෙරපා හැරීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ ඉතා ඉක්මණින් පියවර ගැනීම සිදු වේ.

ප්‍රචණ්ඩත්වයේ උප සංස්කෘතිය ශක්තිමත් කිරීම

ඉතා ම කීකරු ලෙස දෙදෙනා බැගින් පේළියට ගමන් කරන පළමු වසර සිසුන් විශ්ව විද්‍යාල භූමිය තුළ කොතරම් සාමාන්‍ය දර්ශනයක් ද යත් බොහෝ අවස්ථාවන්වල ඔවුන් අපේ අවධානයටවත් යොමු වන්නේ නැත. නමුත් එවැනි සිදුවීම් ඔස්සේ පෙනී යන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නවක වදය කොතරම් මුල්බැසගෙන තිබේද යන කාරණය යි. නවක වදය විසින් සත්‍ය වශයෙන් ම පවතින ධූරාවලිය ශක්තිමත් කරනු ලබයි. එහි දී නවක සිසුන් මත ජ්‍යෙෂ්ඨ සිසුන්, සිසුන් මත අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ පරිපාලනය, කාන්තාවන් මත පිරිමින්, සහ සුළු භාෂා කණ්ඩායම් මත ප‍්‍රමුඛ භාෂා කණ්ඩායම් ආදී වශයෙන් පවත්වන්නා වූ බලය මූලික කරගත් සම්බන්ධතා ප්‍රතිනිෂ්පාදනය කරනු ලැබේ. කථා කළ හැක්කේ කා හටද සහ වැදගත් වන්නේ කාගේ අදහස් ද යන්න තහවුරු කරන විධාන සහ පාලන ව්‍යුහයක් ස්ථාපිත කිරීම එමඟින් සිදු කරනු ලබයි.

නවක වදය ගොඩනඟා ඇත්තේ ස්ත්‍රී විරෝධී සංස්කෘතියක් මත ය. නවක වදය අතරතුර ඇය කළ ”වැරදි” නිසා ඇයට නොව, ඒ අසල සිටි පළමු වසරේ පිරිමි ළමයෙකුට දඬුවම් දුන් ආකාරය වරක් සිසුවියක් විස්තර කළා ය. පෙනෙන ආකාරයට මෙම උප සංස්කෘතිය තුළ කාන්තාවන් ඔවුන්ගේ ක‍්‍රියාවන්ට පවා වගකිව යුතු නැත. ඔවුන් අවට සිටින පිරිමින්ට එකී වැරදීන් ‘අයිති’ වන අතර ඔවුන් විසින් සිසුවියන්  සිදුකරන අදාළ වැරදි හැසිරීම වෙනුවෙන් වන්දි ගෙවිය යුතු ය. නවක වදය විසින් නවක සිසුන්ව මේ ආකාර වූ පීඩාව සහ ප්‍රචණ්ඩත්වය මුල් කරගත් පද්ධතියට හුරු කරවනු ලබයි. කෙසේ වෙතත්, මෙම පීඩාකාරී සංස්කෘතිය නවක වදය මුල් කරගත් කාලය අවසන් වූ පසුවත් පවතින අතර යම් ශිෂ්‍යයෙකු මෙම පද්ධතිය උල්ලංඝනය කිරීම හෝ ප්‍රතිරෝධය දැක්වීම සිදු කිරීමට උත්සාහ දැරුවහොත් එකී උත්සාහය වෙනුවෙන් ලැබෙන්නා වූ අනිසි ප‍්‍රතිවිපාක ශිෂ්‍ය ජීවිතය පුරා ම සහ ඉන් ඔබ්බට එකී සිසුන්ට අත්විඳීමට සිදු වේ.

විශ්වවිද්‍යාල ශාස්තඥයින් නිතර ම මෙම ධූරාවලිය බලාත්මක කරන අතර අධිකාරියට අභියෝග කරන පුද්ගලයන්ට දඬුවම් කරනු ලබයි. කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට ‘කාර්ය මණ්ඩල සංවර්ධන සැසි’ අතරතුර පවා රැස්වීම්වල දී නිශ්ශබ්දව සිටින ලෙස ඔවුන්ට දැනුම් දෙනු ලබන්නේ එසේ නැතහොත් ඔවුන් කරදර කරන්නන් ලෙස බැහැර කිරීම හෝ කතා කරන විට නොසලකා හැරීම සිදුවිය හැකි නිසා ය. මේ ආකාරයෙන් ආන්තිකයේ සිටින අය සමඟ අවංකව සහ අර්ථවත් ආකාරයකින් ගනුදෙනු කරනවාට වඩා මේ ආකාරයෙන් ඔවුන්ව ”කළමනාකරණය” කරනු දක්නට ලැබේ. මෙම විෂ සහගත සංස්කෘතිය එකී සංස්කෘතියේ උපරිම තලයේ දී ලිංගික හිරිහැර හෝ වෙනත් අඩන්තේට්ටම් වලින් අවසන් වේ. අප සෑම කෙනෙකු ම එවැනි සිදුවීම් පිළිබඳ දනියි. නමුත් අප ඒවා විවෘතව සාකච්ඡා කරන්නේ කලාතුරකිනි. මෙම තත්ත්වය ම මෙවැනි සම්ප්‍රදායන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විහිදී පැතිරී යාමට ඉඩ හරිනු ලබයි. නවක වදය නොපෙනෙන දෙයක් බවට පත් කරනු ලබන්නේ මෙම ව්‍යාප්තිය යි. ඒ හා සමාන ම ප‍්‍රචණ්ඩත්ව සංස්කෘතියක් පුළුල් සමාජය පුරාම ද පැතිරී ඇති හෙයින්, නවක වදය මෙම පද්ධතියෙන් පිටත සිටින අයට පවා අදෘෂ්‍යමානව පවතී.

නවක වදය විසින් ශක්තිමත් කරනු ලබන සමාජ පර්යාය 

නවක වදය යනු සමාජ ධූරාවලි පටිපාටියක් නිර්මාණය කිරීම නම්, එවැනි ක‍්‍රමයක වාසිය ඇත්තේ කාටද යන්න වටහා ගැනීම සැබැවින් ම වැදගත් ය. දේශපාලන පක්ෂ අනුබද්ධතාවන්ගෙන් බලපෑමට ලක් වූ ශිෂ්‍ය සංගම් ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයන් සපුරාලීම සඳහා නවක වදය භාවිතා කරන බව සත්‍යකි. ඔවුන් නවක වදයට ලක් වූවන් තමන්ගේ පාර්ශවයට එක් කර ගනියි. තත්ත්වය එසේ වුවත්, සක්‍රීය ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය විශ්වවිද්‍යාලවලට අත්‍යවශ්‍ය වන අතර, ශිෂ්‍ය සංගම් විසින් සැළකිල්ලට ගත යුතු වැදගත් කරුණු ඉදිරිපත් කරන බවද පිළිගත යුතු ය. එහෙත් නවක වදය පිළිබඳ ඔවුන්ගේ දුර්වල ස්ථාවරය සහ ශිෂ්‍ය ක‍්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සිදු කරන පූර්ණ පාලනය පිළිගත නොහැකි ය. කෙසේ වෙතත්, මේ ආකාරයට දේශපාලනික වශයෙන් අනුබද්ධිත ශිෂ්‍ය සංගම්වලට පමණක් දොස් පැවරීම ඔස්සේ, එවැනි ශිෂ්‍ය ක‍්‍රියාකාරිත්වයක් නොමැති විශ්වවිද්‍යාලවල සහ සමහර පාසල්වල පවා නවක වදය අඛණ්ඩව පැවතීම පැහැදිලි කළ නොහැක්කක් බවට පත්කොට තිබේ.

නවක සිසුන් සහ සහ ජ්‍යෙෂ්ඨ සිසුන්, නවක වදය හරහා ගොඩනගා ඇති සිසුන් එකිනෙකාට මත යැපෙන්නා වූ ආධාරක පද්ධති සහ බැඳීම්වලින් ප්‍රතිලාභ ලබයි. සිසුන්ට ‘කුප්පි’ පන්ති සහ සම්බන්ධතා උපදේශන තුළින් අධ්‍යයන සහාය ලැබේ. සිසුන් පෞද්ගලික අර්බුදවලට මුහුණ දෙන අවස්ථාවන්වල මෙවැනි ශිෂ්‍ය කණ්ඩායම් කැපී පෙනෙන කාර්යක්ෂමතාවයකින් යුතුව උපකාර කරයි. නවාතැන් පහසුකම් සඳහා සුදුසුකම් ඇති සිසුන් එවැනි පහසුකම් සඳහා සුදුසුකම් ලබා නොමැති සිසුන් සමඟ එකී නවාතැන් පහසුකම් බෙදා ගැනීම සිදු කරනු ලබයි. සමහර සිසුන් සඳහා මෙම ආධාරක පද්ධති අත්‍යවශ්‍ය වන අතර ඒ හේතුවෙන් ම නවක වදයට ලක් වීම යෝග්‍ය යැයි පෙනේ. 

නවක වදය තුළින් වගා කරන මෙම යටත් වීමේ ස්වභාවය විශ්වවිද්‍යාල පරිපාලනයට ශිෂ්‍ය සංවිධානය ‘හැසිරවීමට’ උපකාරී වේ. නවක වදයට ඍජු අදාළත්වයක් නැති ගැටලූ ඇති වූ විට, පරිපාලනය හුදෙක් ශිෂ්‍ය නායකයන් සමඟ සාකච්ඡා කර ඒවා නිෂ්ප්‍රභා කරයි. විචාරාත්මක සිසුන්ගේ බරින් තොරව ගුරුවරු ද සුවපහසුවෙන් ඉගැන්වීම් කටයුතුවල යෙදෙති. ඓන්ද්‍රිය ශිෂ්‍ය ව්‍යාපාරවල නැග ඒම සම්බන්ධව තැති ගැනීමකින් තොරව රජයන් ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය කළමනාකරණය හා මෙහෙයවීම සිදු කරනු ලබයි. සමස්තයක් වශයෙන්, නවක වදය විසින් නිර්මාණය කර ඇති සමාජ පර්යාය නිසා බොහෝ දෙනෙක් ප්‍රතිලාභ ලබයි.

නවක වදය අවසන් කිරීම දුෂ්කර ද?

බාහිර පුද්ගලයින් නිතර ම ප්‍රකාශ කරන්නේ විශ්වවිද්‍යාල තුළ නවක වදය පවතින බව විශ්වාස කළ නොහැකි බවයි. බලාත්මක කරන ලද නීති, කමිටු සහ කාර්ය සාධක බලකායන්, විශාල පර්යේෂණ සහ ගණනය කළ නොහැකි තරමේ පුවත්පත් ලිපි හරහා වුවත් නවක වදය පහළ දැමීමට එතරම් දායකත්වයක් සිදු කර නැත. ඒ ඇයි?

පළමු කාරණය නම්, නවක වදයේ වපසරිය පිළිබඳ නිවැරදි තක්සේරුවක් නොතිබීමයි. 1998 නවක වද විරෝධී පනත මඟින් නවක වදය ඇප මත නිදහස් කිරීමට නොහැකි අනිවාර්ය සිර දඬුවම් ලබා දෙන වරදක් කොට ඇත. නමුත් සෑම ආකාරයක ම නවක වදයන් හා සම්බන්ධ සිදුවීම් සඳහා එවැනි දැඩි දඬුවම් සාධාරණීකරණය කළ නොහැකි බැවින් වගකිවයුතු නිලධාරීන් පනත ක්‍රියාත්මක කිරීමට අදිමදි කරයි.

නවක වදය යනු අපරාධකරුවන් විසින් සාමූහිකව අන් අයට හිංසා කරන අතර ම ඔවුන් ම ගොදුරු බවට පත් වන කණ්ඩායම් ක්‍රියාවලියක් ලෙස සැලකීම පනත මගින් නොසලකා හරිනු ලැබේ. සාමාන්‍යයෙන් නවක වදය සිදු කරමින් සිටිය දී හසු වූවන් විසින් ඔවුන්ව එවැනි ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා බලහත්කාරයෙන් යෙද වූ අයව හෙළි කරනු ලබයි. මක්නිසාදයත් ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් විසින් නවක වදය මෙහෙයවන කණ්ඩායම අධීක්ෂණය කරන බැවිනි. වැඩිහිටි ශිෂ්‍යයන් ඔවුන්ගේ කැමැත්ත පරිදි නවක වදයේ නොයෙදෙන සිසුන්ට දඬුවම් කිරීම සඳහා පෙර වසරවල ස්ථාපිත කරගන්නා ලද බලහත්කාර සම්බන්ධතා භාවිතා කරයි. එසේ ම නවක වධ විරෝධී පනත මඟින් වක්‍රාකාරයෙන් නවක වදය අනුමත කරන/ ඊට අනුබල දෙන ආයතන පිළිබඳ අවධානය යොමු නොකරයි. මෙම සංකීර්ණතාවලට මුහුණ දීම සඳහා නවක වධ විරෝධී පනත සූදානම් නැත.

නවක වදය යනු ප්‍රචණ්ඩත්වය සහ විෂමාචාරය මුල්කොට ගත් පුළුල් සමාජ සංස්කෘතියක ලක්ෂණයක් බැවින්, නවක වධය තුළ සිදුවන  

ප්‍රචණ්ඩත්වය නිරන්තරයෙන් හඳුනා ගැනීම සිදු නොවේ. නවක වදය වටා පවතින කන් බිහිරි කරන නිශ්ශබ්දතාව එයට තවදුරටත් සැඟවී සිටීමට ඉඩ සලසයි. එකී නිහඬ බවේ ප්‍රතිඵලයක් වශයෙන් ගොඩනැගෙන ප‍්‍රචණ්ඩත්වය සහ බලහත්කාරය කිසි විටෙකත් පිළිගත නොහැකි වුව ද විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය අතර සාකච්ඡාවල දී නවක වදයට පක්ෂ සහ විපක්ෂ ”දෙපාර්ශ්වය ම” ව්‍යාජ සමානතාවයකින් වර්ණ ගන්වනු ලබයි. නවක වද සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ ද බොහෝ විට නවක වදය පිළිබඳ එවැනි ස්ථාවරව ස්ථාපිත වී පවතින ආකල්ප මගින් දූෂිත බවට පත් වේ. සමහර අවස්ථාවන්හි දී බලධාරීන් විසින් නවක වදය අදෘෂ්‍යමාන කිරීමට හිතාමතා ම උත්සාහ දරයි. පැමිණිලිකරුවන්ට සහ වින්දිතයින්ට සැමවිට ම සහාය හෝ ආරක්ෂාව නොලැබෙන අතර, ආයතනයේ ප්‍රතිරූපයට කැළලක් කරන බවට වන පදනම මත ඔවුන්ට හිරිහැර හා චෝදනා පවා එල්ල වන අවස්ථා පවතී.

නවක වදය පාලනය කිරීම සඳහා හමුදාව සම්බන්ධ කර ගැනීමට මෑත දී ඉදිරිපත් වූ යෝජනාව ද වැරදි සංකල්පයකි. හමුදාව නිරන්තරයෙන් ප්‍රචණ්ඩත්වය, ධූරාවලිය සහ අධිකාරීවාදය පිළිබඳ ඔවුන්ගේ ම අනුවාදයක් ප්‍රවර්ධනය කරයි. ඇත්තෙන් ම හමුදාවට බැඳීමේ දී ඔවුන්ට ම ආවේණික නවක වද තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ. මෙවැනි බලවේගයකට විශ්වවිද්‍යාලය තුළ නවක වදය පාලනය කිරීම පැවරුවහොත් දැනට පවතින පීඩාකාරී උප සංස්කෘතිය ඊටත් වඩා පීඩාකාරී එකක් බවට පත්විය හැකි ය. එහි දී අපට ගනුදෙනු කිරීමට සිදුවන්නේ දැනටත් වඩා බලගතු බලවේගවල ආශාවන් හා අභිමථාර්ථයන්ට යටත්ව ය.   

අධ්‍යාපනය හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම

නවක වදය මූලික කොටගත් මෙකී සංස්කෘතියේ ගැඹුරු ගැටලූ සහගත අධ්‍යාපන විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය පිළිගැනීමකින් තොරව, අපට නවක වදය තුරන් කිරීම හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ශක්තිමත් කිරීම කළ නොහැකි ය. නවක වදය වටහා ගත යුත්තේ ආයතනික ව්‍යුහයන්ට වල කපන සහ අධ්‍යාපන සංකල්පය උල්ලංඝනය කරන, අවිචාරාත්මකව පිළිගත් පීතෘමූලික හා ප්‍රචණ්ඩ සංස්කෘතියක් මත ගොඩනැඟුණු, නිරන්තරයෙන් අදෘශ්‍යමාන බලවේගයන්ගේ ප්‍රකාශනයක් ලෙස ය.

නවක වදයට මුහුණ දීම සඳහා මෙම ගැටලූව තේරුම් ගන්නා ආකාරයෙහි රැඩිකල් වෙනසක් අවශ්‍ය වන අතර ඒ සමඟ ම එය පවත්වා ගෙන යන සමාජ පටිපාටීන් හා උප සංස්කෘතිය තරයේ ප‍්‍රතික්ෂේප කිරීම ද අවශ්‍ය වේ. විශේෂයෙන් ම විශ්වවිද්‍යාල තුළ අපට සංවාදයන් ප්‍රවර්ධනය කරන, සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට හඬක් නැගීමට ඉඩ සලසා දෙන, සහ විවිධ දෘෂ්ටිකෝණයන්ගේ බහුත්වත්වය දිරිගැන්වෙන/නියෝජනය වන සාමූහික ක්‍රියාකාරකම් සඳහා අවකාශය පුළුල් කිරීමක් අවශ්‍ය වේ. නවක වදය සම්බන්ධයෙන් පමණක් නොව, පන්ති කාමරයේ ඇති අසංඛ්‍යාත ප්‍රචණ්ඩත්වයන් මෙන් ම ආයතනික ව්‍යුහයන් සහ සමාජ පද්ධති විසින් ගොඩනගන ප්‍රචණ්ඩත්වයන් සම්බන්ධයෙන් සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ එම පීඩාකාරී අත්දැකීම්, විවිධ කලා ආකෘතීන් ඇතුළු නොයෙකුත් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කිරීමට හැකි විය යුතු ය.

නවක වදය ආමන්ත‍්‍රණය කිරීම සඳහා නිර්මාණය කර ඇති නීති සහ ප්‍රතිපත්ති විසින් නවක වදය තුළ ක්‍රියාත්මක වන්නා වූ කණ්ඩායම් පදනම් ස්වභාවය හඳුනාගත යුතු ය. නවක වදයේ ක්‍රියාකාරකම් පරාසය ද හඳුනා ගත යුතු අතර ම, නවක වදයේ සියලූ ක්‍රියාවන් එකිනෙකට සමාන නොවන බව ඔවුන් හඳුනාගත යුතු ය. අනෙක් අතට විශ්වවිද්‍යාලවලට සහ සමස්තයක් වශයෙන් රටට පවා බලපාන වෙනත් ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් සමඟ ගැටගැසීමෙන් ඔවුන් නවක වදය විසඳීමට කටයුතු කළ යුතු ය. 

වැදගත් ම කාරණය වන්නේ, ඔවුන් ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය මැඩපැවැත්වීම, ශාස්ත්‍රීය නිදහස උල්ලංඝනය කිරීම හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම උල්ලංඝනය කිරීම නොකළ යුතු ය. නවක වදයට අදාළ ප්‍රතිපත්ති නිර්මාණය කළ යුත්තේ සාකච්ඡා, විවාද සහ වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන් මගිනි.

ආයතනික වශයෙන්, සිසුන්ගේ ජීවිත තුළ නවක වදය මගින් පිරවීමට උත්සාහ ගනු ලබන හිඩැස අප තේරුම් ගත යුතු අතර එම හිඩැස පියවීමට අප උත්සාහ කළ යුතු ය. ආයතන විසින් සපයනු නොලබන සේවාවන් රාශියක් සඳහා නවක සිසුන්, ජ්‍යෙෂ්ඨ සිසුන් මත යැපේ. ඉංග්‍රීසි භාෂාව යන්තම් තේරුම් ගන්නා සිසුවෙකු ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනුම් කටයුතු සිදු කරන උපාධි පාඨමාලාවකට මුහුණ දෙන විට කම්පනයට පත් වේ. විශ්වවිද්‍යාල ජීවිතයට හුරුවීම දුෂ්කර කාර්යයක් බව සැබෑ ය. මෙම කාල පරිච්ෙඡ්දය තුළ සිසුන්ට උපකාර කිරීම සඳහා හොඳින් සැලසුම් කළ වැඩසටහන් මෙන් ම ඒ වෙනුවෙන් කැප වූ සහ ඊට අදාළ හැකියාවලින් සන්නද්ධ කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වේ.

නවක වදය විශ්වවිද්‍යාලයේ සමාජ ව්‍යුහය තුළ ගැඹුරින් කිඳා බැස ඇති බව අප හඳුනාගත යුතු ය. එවැනි රාමුවක් තුළ අප සියල්ලෝ ම වරදකරුවන් ය: එනම් කාර්ය මණ්ඩලය, සිසුන්, පරිපාලනය සහ පොදු මහජනතාව ද ඇතුළුව අප සියල්ලන් ම ඊට අදාළ ය. මෙම හඳුනාගැනීම තුළ අපේ අනාරක්ෂිත බව පිළිගැනීමට සූදානමක් තිබිය යුතු වේ. නවක වදය ආමන්ත‍්‍රණය කිරීම සඳහා විශාල ශක්තියක්, නොසැලෙන කැපවීමක් සහ සාමූහික උත්සාහයක් අවශ්‍ය බව අප හඳුනාගත යුතු ය.

නවක වදය පිළිකාවකි; එයට මුහුණ දීම වේදනා සහගත වනු ඇත. එහෙත් අවසානයේ එය යහපැවැත්ම ඉලක්ක කරගත් පුනර්ජීවන ලැබ දෙන්නා වූ ක්‍රියාකාරකමකි. අනෙක් අතට, නවක වදය යන්න නොසලකා හැරීමේ ප්‍රතිඵලය, විටෙක මන්දගාමී හා දරුණු වේදනා ගෙනදෙන මරණයක් විය හැකි ය. එනිසා නවක වදය රහිත විශ්වවිද්‍යාල පද්ධතියක් සඳහා ධෛර්ය සම්පන්නව කටයුතු කරන අතර මේ ගමනේ දී පීඩාවන් හා වේදනාවන් සඳහා අප සූදානම් විය යුතු ය.

‘කුප්පි ටෝක්’ යන්නෙන් අරුත් ගැන්වෙන්නේ සමාජ ධූරාවලීන් සරදමට ලක්කරන, ඒවා කඩාකප්පල් කොට දමන්නා වූ, එමෙන්ම ඒවා අනුකරණය කරන, දේශන ශාලාවේ ඉම් රේඛාවෙහි සිදුවන දැනුම් සම්පාදන ක්‍රියාවලියකි.