ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල යටත් විජිතකරණයෙන් මුදවා ගැනීම

කෞශල්‍යා හේරත් විසිනි

උසස් අධ්‍යාපනය පිළිබඳව මෑත කාලයේ ශ්‍රී ලංකාවේ පැවති සමාජ-දේශපාලන වාද විවාදවලින් පෙනී යන්නේ වෙළෙඳපොළ සඳහා මානව ප්‍රාග්ධනය නිෂ්පාදනය කිරීම සඳහා පිහිටුවන ලද නව ලිබරල් ආයතන ලෙස විශ්වවිද්‍යාල සැලකෙන බවයි. විශ්වවිද්‍යාල තුළ විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය STEM යන වැඩසටහන් සඳහා අනුගත වෙමින් සහ කලාත්මක වර්ගයේ විෂයන් ආන්තිකකරණය බවට පරිවර්තනය කරමින් (ගෝලීය) ආර්ථිකයට සේවය කිරීම සඳහා අපේක්‍ෂා කරන දැනුම, කුසලතා සහ නිපුණතා මිශ්‍ර රැකියා සහිත උපාධිධාරීන් බිහිකිරීම රාජ්‍ය අවශ්‍යතාවය වී තිබේ. උසස් අධ්‍යාපනය සඳහා වූ මෙම ප්‍රවේශය අපේ විශ්වවිද්‍යාල අවිචාරාත්මකව වැළඳගත්තේ කෙසේද? මනුෂ්‍යත්වයේ සේවය සඳහා උද්‍යෝගිමත් චින්තකයින් මෙන්ම සන්දර්භයට අදාළ දැනුම ද ජනනය කරමින්, උසස් අධ්‍යාපනය පිළිබඳ දැක්ම, විශ්වවිද්‍යාල විවේචනාත්මක ඉගෙනුම් ස්ථාන ලෙස සිතන තැනකට මාරු කිරීමට තවමත් හැකියාවක් පවතීද?

යටත්විජිත දැනුම් පද්ධති

විශ්වවිද්‍යාල යටත් විජිතකරණය කිරීමේ ව්‍යාපාර ගෝලීය වශයෙන් උතුර සහ දකුණ යන දෙඅංශයෙන්ම ව්‍යාප්ත වෙමින් පවතී. කෙසේ වෙතත්, ගෝලීය දකුණ සම්බන්ධයෙන් ගත් කල, අද දක්වාම පවතින අධ්‍යාපන ආයතන සහ අධ්‍යාපනික ව්‍යුහයන් සැබැවින්ම බටහිර අධිරාජ්‍යවාදය යටතේ සංස්කෘතික යටත් විජිතකරණයෙන් ලත් උරුමයකි. පෙරදිගවාදයේ දී එඩ්වඩ් සයිඩ් තර්ක කරන පරිදි, අපේ ඉතිහාස පිළිබඳ මෙන්ම අප පිළිබඳ අප දන්නා සහ අවබෝධ කර ගත් දේ බටහිර ඥාන විද්‍යාව හා බටහිර කාච තුළින් ගොඩනැඟී ඇත. අන්ද්‍රේ ගුන්ඩර් ෆ්‍රෑන්ක් සහ ආර්තුරෝ එස්කෝබාර් වැනි පශ්චාත්-සංවර්ධන න්‍යායාචාර්යවරුන් තවදුරටත් පෙන්වා දෙන්නේ තුන්වන ලෝකයේ යැයි හැඳින්වෙන රටවල නොදියුණු බව ඇති කළ සංවර්ධන ක්‍රියාවලිය, එම රටවල් පිළිබඳව සහ ඔවුන්ගේ දැනුම් පද්ධති පිළිබඳව මවා ගැනීමේ වෙනත් ක්‍රම ද කොන් කර ඇති බවයි.

අපගේ විශ්වවිද්‍යාල සාමාන්‍යයෙන් දැනුම නිපදවීමේදී අපෝහනීය ප්‍රවේශයන් අනුගමනය කරති. අපගේ උපාධි අපේක්ෂකයින්ට බටහිර පසුබිමින් සකස් කරන ලද න්‍යායන් සහ ආකෘති උගන්වනු ලබන්නේ දේශීය සැකැස්මට ඇති අදාළත්වය ගැන මද සැලකිල්ලක් දක්වමිනි. අපගේ උසස් අධ්‍යාපන ආයතන තුළ සහ සමාජය තුළ අප අත්විඳින හිදැස් හා ඥාන විද්‍යාත්මක බල ධූරාවලි ගොඩනැගෙනුයේ, අපි මෙම දැනුම් පද්ධති ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන විට ඇතිවන එවැනි සංස්කෘතික නොගැලපීම් නිසා ද විය හැකිය. නිහාල් පෙරේරා විසින් සිය ‘ආසියානු නගර පරිවර්තනය කිරීම’ ග්‍රන්ථයේ පෙන්වා දෙන පරිදි, අපි වෙනත් රටවල නගර තේරුම් ගැනීම සඳහා සකස් කළ න්‍යායන් තුළින් ආසියානු නගර තේරුම් ගැනීමට උත්සාහ කරමු. මානව ශාස්ත්‍රයේ වේවා ස්වාභාවික විද්‍යාවේ වේවා බොහෝ අංශ වල මෙය පොදු ලක්ෂණයකි. විශ්වවිද්‍යාල ඇතුළු අපේ අධ්‍යාපන ආයතන අඛණ්ඩව දැනුවත් කරමින් හැඩ ගැසෙන යටත්විජිත දැනුමෙන් නිදහස් වීමට අපට නොහැකි බව පෙනේ.

අද බොහෝ උපාධි පාඨමාලා, උපාධිධාරීන් ආයතනික රැකියා සඳහා පුහුණු කිරීම වෙනුවෙන් ප්‍රායෝගික හෝ සීමාවාසික පුහුණුව ඇතුළත් කර තිබේ. එවැනි පුහුණු අවස්ථා තුළින් සිසුන්ට අත්දැකීම් ලබා ගැනීමට සහ “කිරීමෙන් ඉගෙන ගැනීමට” හැකි වන නමුත්, මේ ඔස්සේ කර්මාන්තකරුවන්ට/ආයතනික කාරකයන්ට උපාධිධාරීන්ගෙන් ඔවුන් බලාපොරොත්තු වන දේ නියම කිරීමට හෝ විෂය මාලාවට බලපෑම් කිරීමට ඉඩ නොතැබිය යුතුය. ආයතනික අංශයේ අවශ්‍යතා වලට, වැඩ කිරීම සඳහා ඇති දැනුම හා කුසලතාවන්ට පමණක් සීමා නොවන අතර නව ලිබරල්වාදී සේවා ස්ථානයට ගැලපෙන පරිදි “මෘදු කුසලතා” ද ඇතුළත් ය. වරෙක සංස්කෘතික යටත්විජිතකරණයේ විධායකයින් වූ විශ්වවිද්‍යාල, ආයතනික අංශය විසින් යටත් කර ගනිමින් පවතින අතර එහිදී විශ්වවිද්‍යාල විසින් ආයතනික සංස්කෘතියට ගැලපෙන පරිදි සේවකයෙකු බිහිකළ යුතුය. 

උද්‍යෝගිමත් හා විවේචනාත්මක චින්තනය ඇති කිරීම

විශ්වවිද්‍යාල ගොඩනැගිය යුත්තේ දැනටමත් යම් ආකාරයක දැනුමක් හා සංවේදීතාවයක් ඇති පුද්ගලයින්ට සංවාද කිරීමට හා ඔවුන්ගේ දැනුම ගොඩනැගීමට හැකි ස්ථාන ලෙස ය. නමුත් අද බොහෝ විශ්වවිද්‍යාල වල මෙය සිදු නොවේ. බොහෝ විට උපකල්පනය කරන්නේ, යම් විෂයයක් පිළිබඳව ශුන්‍ය දැනුමක් ඇති උපාධි අපේක්ෂකයින් උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළු වන බවයි. මෙම දෘෂ්ටි කෝණයෙන් බලන කල, උපාධි පාඨමාලාවේ එකම අරමුණ සිසුන්ට දැනුම ගබඩා කර ගැනීමට ආධාරකයක් බවට පත්වීමයි. පළපුරුද්ද පිළිබඳ දැනුම අදාළ නොවන බව නොසලකා හැරීම හෝ බැහැර කිරීම සැබැවින්ම පීඩාකාරී මෙන්ම ප්‍රචණ්ඩකාරී ය.

සමාජ ගැටලු ගවේෂණය කිරීමට සහ අවබෝධ කර ගැනීමට අපගේ උපාධි අපේක්ෂකයින් තුළ උද්‍යෝගයක් ඇති කිරීමට නම්, අපි ඔවුන්ගේ ඉතිහාසය, අත්දැකීම් සහ අභිලාෂයන්ට අදාළව අධ්‍යාපන ක්‍රියාවලීන් වඩාත් අදාළ කළ යුතුයි. සමාජ ගැටලු විසඳීම පදනම් වූ විසඳුම් සකස් කිරීම වෙනුවෙන් අපගේම අවකාශයන් සහ සමාජය කියවීම වෙනුවෙන් ස්වභාෂා ඥාන විද්‍යාව දියුණු කිරීම ඉතා වැදගත් ය. දේශීය සමාජ ක්‍රියාවලීන් අවබෝධ කර ගැනීම සඳහා පහළ සිට ඉහළට හෝ උද්ගාමී ප්‍රවේශයන් භාවිතා කරන විවේචනාත්මක අධ්‍යාපනික ක්‍රම තීරණාත්මක ය, විශේෂයෙන් වර්තමාන මොහොතේ දී විනාශයන් අපේ ඇස් ඉදිරිපිට දිග හැරෙමින් පවතින අතර අපේක්ෂා කළ හැකි විසඳුම් කිසිවක් පෙනෙන්නට නැත. දේශීය දැනුම් පද්ධති අවබෝධ කර ගැනීමට සහ න්‍යායගත කිරීමට විශ්වවිද්‍යාල යාන්ත්‍රණයන් සකස් කළ යුතුය. ජාතිකවාදයේ අනෙක් අන්තයට නොගොස් විශ්වවිද්‍යාල විසින් දැනුම නිපදවීමේ යටත් විජිතකරණය අවසන් කොට මෙම ක්‍රියාවලිය දේශීයකරණය කළ හැක්කේ කෙසේද යන්න තරමක් අපහසු කාර්යයක් වන අතර එයට සංවාද සහ ප්‍රත්‍යවේක්ෂණයන් අවශ්‍ය වේ.

දැනුම නිෂ්පාදන ක්‍රියාවලිය තුළ තමන්ට සහයෝගයෙන් කටයුතු කළ හැකිය සහ ඔවුන්ගේම න්‍යායන් සහ දැනුමක නිම–ාණකරුවන් විය හැකිය යන අදහස සිසුන්ට ඇති කිරීම විශ්වවිද්‍යාල වල වගකීමකි.

අපේ විශ්ව විද්‍යාල වල පවතින විභාග ක්‍රමය සාමූහික ප්‍රයත්නයන්ට වඩා පෞද්ගලික ජයග්‍රහණ අගය කරයි. සංවෘත පොත් විභාග ක්‍රමය සහ පෞද්ගලික තක්සේරු කිරීම් විසින් සාක්ෂාත් කර ගැනීමේ පුද්ගලවාදී පරමාදර්ශයන් ශක්තිමත් කරයි. දැනුම නිෂ්පාදනය සඳහා සාමූහික ප්‍රවේශයන් වෙත මාරුවීම ඔස්සේ උපාධි අපේක්ෂකයින්ට දැඩි උද්‍යෝගිමත් හා විවේචනාත්මක චින්තකයින් දක්වා වර්ධනය වීමට ඉඩ සලසා දිය හැකිය. සිසුන් විසින් මෙහෙයවනු ලබන සමහර අවිධිමත් ක්‍රම සහ සාමූහික ප්‍රයත්නයන් තිබේ. එකී සමහර ක්‍රමයන් කොන් කිරීම හෝ ප්‍රචණ්ඩකාරී විය හැකි බව තේරුම් ගනිමින් පන්ති කාමරවලට එවැනි ක්‍රම භාවිතා කළ හැක්කේ කෙසේදැයි සිතීම වටිනේ ය.

මෙම දැවැන්ත කර්තව්‍යය තුළ සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍රය අනිවාර්යයෙන්ම කාර්යභාරයක් ඉටු කළ යුතුය. කෙසේ වෙතත්, මෙම තීරුවේ කලින් සාකච්ඡා කළ පරිදි, කලා විෂයන් වැඩි වැඩියෙන් නින්දා සහගත ස්වභාවයට පත් වෙමින් විවිධ තරාතිරම් වල දී අවලංගු බවට පත් වෙමින් පවතී. ස්වාභාවික විද්‍යාව සහ කලාව අතර ධූරාවලිය සිසුන්ව STEM ධාරාවන් තෝරා ගැනීමට තල්ලු කරන අතර, මෙයින් අදහස් කරන්නේ යෞවනයන් බොහෝ විට විෂය ධාරාවන් තෝරා ගන්නේ ආශාවකින් හෝ අරමුණකින් තොරව බවයි.

රැකියාව සඳහා අධ්‍යාපනය?

සෑම වසරකම උසස් පෙළ විභාගයෙන් පසුව, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ගෙන් මා වෙත ඇමතුම් ලැබේ. දිස්ත්‍රික් පළමුවැන්නන්ගෙන් හෝ ආන්තික ලකුණු ඇති අයගෙන් ලැබෙන පොදු ප්‍රශ්නයක් නම්, “කුමන උපාධි පාඨමාලාවෙන් මට ඉක්මනින් රැකියාවක් ලබා ගත හැකිද?” යන්නයි. බොහෝ විට ප්‍රශ්නය වන්නේ උපාධියෙන් පසු කුමන ආකාරයේ රැකියා ඔවුන්ට ලැබෙනවාද යන්න නොව, කෙතරම් ඉක්මනින් ඔවුන්ට රැකියාවක් ලැබෙනවාද සහ එයින් කොපමණ මුදලක් ගෙවනවාද යන්නයි. අධ්‍යාපන ක්‍රියාවලියේ යම් තැනක පුද්ගල ‘සාර්ථකත්වයේ’ භෞතිකවාදී පරමාදර්ශයන් ලුහුබැඳ යාම හැර වෙනත් දෙයක් කිරීමේ දැඩි ආශාව නැති වී ගොස් ඇති බවක් පෙනේ.

උද්‍යෝගීත්වය සහ රැකියාව වෙන් කිරීම ද බෙදීම් සහ පාලනය කිරීමේ ආකාරයකි. ඔබ නව ලිබරල් වෙළඳපොල සඳහා වැඩ නොකරන විට ඔබ ලුහුබැඳ යාමට බලාපොරොත්තු වන ඔබේ ආශාව සහ වෙනත් අවශ්‍යතා වලින්, රැකියාව අනුව ආර්ථිකය සඳහා ඔබේ දායකත්වය වෙන්ව පැවතිය යුතුය. රැකියාව සහ නිවාඩු වෙන් කිරීම ලෙසම රැකියාව සහ ආශාව වෙන් කිරීම සිදුවන්නේ යටත් විජිත ස්වරූපයෙනි.

“කුසලතා හෝ සුදුසුකම් නොමැතිකම නිසා වැටුප් සහිත රැකියාවක් ලබා ගැනීමට නොහැකි“ උපාධිධාරීන් බිහිකිරීම හේතුවෙන් කලා හා මානව ශාස්ත්‍ර අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ පිළිකුලෙන් හෙළා දකින තරමට, STEM අධ්‍යාපනය ද ධනේශ්වර ආර්ථිකයට ගැලපෙන උපාධිධාරීන් බිහිකිරීම සඳහා තාක්‍ෂණික දිශානතියකට පටු වෙමින් පවතී. සමස්තයක් වශයෙන් උසස් අධ්‍යාපනය තුළ එහි මනුෂ්‍යත්වය මෙන්ම දාර්ශනික ස්පර්ෂය ද අහිමි වෙමින් පවතින අතර, මෙම බල අරගලය STEM සහ කලා අධ්‍යාපනය පිළිබඳ කොටස්කරණය වැඩි කිරීමට ද හේතු වේ.

STEM උපාධි පාඨමාලා වල බහුවිධ ප්‍රවේශය වියැකී යමින් ඇත්තේ නිශ්චිත කාර්යයන් සඳහා විශේෂීකරණය කිරීමට හැකි වන පරිදි තාක්‍ෂණික මොඩියුලයන්ට ඉඩ සැලසීමට මිස විශාල සන්දර්භය පිළිබඳ විවේචනාත්මක බුද්ධිමය කියවීම් සක්‍රීය කිරීමට නොවේ. උදාහරණයක් වශයෙන්, මෙවර මොරටුව විශ්වවිද්‍යාලයේ නගර සහ රට සැලසුම් කිරීමේ BSc (ගෞරව) උපාධි වැඩසටහනේ, නව අයදුම්කරුවන් සඳහා ඇතුළත් වීමේ නිර්ණායක වෙනස් කර ඇත. මීට පෙර, ඕනෑම විෂය ධාරාවකින් අවශ්‍ය කඩඉම් ලකුණ සම්පූර්ණ කළ සිසුන්ට මේ සඳහා ඇතුළත් විය හැකි නමුත් දැන් අයදුම්පත් භාරගනු ලබන්නේ ස්වාභාවික විද්‍යාව හදාරන සිසුන්ගෙනි. උසස් පෙළ ස්වාභාවික විද්‍යා විෂයයන් හැදෑරූ සිසුන්ට බහු විෂයාත්මක උපාධි පාඨමාලාවන් සීමා කිරීමට ගත් තීරණය, ස්වාභාවික විද්‍යා හා මානව ශාස්ත්‍ර පිළිබඳ ධූරාවලි අවබෝධය සහ උපාධි පාඨමාලාවන් කොටස්කරණය වැඩි කිරීම පිළිබඳ වඩාත් පුළුල් ලෙස සාකච්ඡා කරයි.

බහු විෂයාත්මක, අන්තර් විෂයාත්මක සහ/හෝ පරිවර්තන විෂයාත්මක ක්‍රම ලොව පුරා ප්‍රවර්ධනය වෙමින් පවතින කාල වකවානුවකදී, අපගේ උසස් අධ්‍යාපන ආයතන, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර වලින් තොර වීම සඳහා වැඩි වැඩියෙන් සීමා කිරීම් සහ කොටස්කරණය කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කරති. මොරටුව උදාහරණය බොහෝ උදාහරණ අතර එකක් පමණි; රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වන STEM වැඩසටහන් වල මෑත කාලීන විෂයමාලා වෙනස් කිරීම් ද එවැනිම ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. “සේවා නියුක්තිය” මිණුම් සලකුණක් ලෙස පිළිගැනීම සහ මෙම පදනම මත උපාධි පාඨමාලා අලෙවි කිරීම, STEM අධ්‍යාපනය තුළ කලා විෂයන් රහිත තාක්‍ෂණික විෂයමාලා හැදෑරීමේ ප්‍රධාන පෙළඹවීමක් විය හැකිය.

අවසාන වශයෙන්, ගෝලීය ආර්ථිකය සඳහා සේවකයින් බිහිකිරීමට උත්සාහ කරන උපයෝගීතා ප්‍රවේශයන්ට අනුකූල වීම සඳහා විවිධ පීඩන එල්ල කරමින් විශ්වවිද්‍යාල පද්ධතිය යටත් විජිතකරණය කිරීම අඛණ්ඩව සිදු වෙමින් පවතී. විශ්වවිද්‍යාල යටත් විජිතකරණයෙන් මිදීමට සහ විවේචනාත්මක චින්තකයින් සහ උද්‍යෝගිමත් උගතුන් ඇති කිරීමට නම්, අපේ උපාධි අපේක්ෂකයින්ගේ සංවේදීතාවන් හා අත්දැකීම් වලට විශ්වවිද්‍යාල විෂය නිර්දේශයන් වඩාත් අදාළ කරවීම හා දැනුම නිෂ්පාදන ක්‍රියාවලිය දේශීයකරණය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම ක්‍රියාවලියේදී සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍රය අනිවාර්යයෙන්ම විශාල කාර්යභාරයක් ඉටු කළ යුතුය.

‘කුප්පි ටෝක්’ යන්නෙන් අරුත් ගැන්වෙන්නේ සමාජ ධූරාවලීන් සරදමට ලක්කරන, ඒවා කඩාකප්පල් කොට දමන්නා වූ, එමෙන්ම ඒවා අනුකරණය කරන, දේශන ශාලාවේ ඉම් රේඛාවෙහි සිදුවන දැනුම් සම්පාදන ක්‍රියාවලියකි.

(මෙහි කතෘ ඩන්ඩි විශ්වවිද්‍යාලයේ (ස්කොට්ලන්තය, එක්සත් රාජධානිය) ආචාර්ය උපාධි අපේක්ෂාවකි)